Pages

Ads 468x60px

Thursday, February 17, 2022

වශී ගුරුකම් යනු ස්ත්‍රී දූෂණයට අනුබල දීමක්

පසුගියදා බොහෝ සෙයින් කතාබහට ලක් වූ මාතෘකාවක් වූයේ සාමාන්‍ය ජනතාව නොමග යවමින් ඔවුන්ගේ විචාර බුද්ධියට නිගා දෙමින් මාධ්‍යවල පෙනී සිටින සමාජය තුළ මිථ්‍යාව වපුරන සාස්තරකාරයින් හා නැකත්කාරයින්ගේ වගතුගය.මේ අතර ‍ජ්‍යොතිෂය ශාස්ත්‍රීයව හදාරා එය දේශපාලනඥයින්ගේ වුවමනා එපාකම්වලට අනුව ගණිකා වෘත්තියේ යොදවන කිහිප දෙනෙකුත් දක්නට ලැබිණ.‍ජ්‍යොතිර් විද්‍යාව වැනි ඉපැරණි ශාස්ත්‍රයක ගෞරවය පරදුවට තබා සිය සමාජ බලය හෝ තනතුරු සවිකර
ගැනීමටත් සාක්කු පුරවා ගැනීමටත් උත්සුක වෙමින් පට්ටපල් බොරු බේගල් ඇදබාමින් ඉතා හරබර අනාවැකිකරුවන් ලෙස පෙනී සිටි සමහරුන් ඉතා නිර්ලජ්ජිතවම ‍ජ්‍යොතිෂයට මුවා වී ඡන්ද ව්‍යාපාරයේ නියැළුණු බව නොරහසකි. නමුත් බුද්ධිමත් ඡන්දදායකයින් ඒ මිථ්‍යාව පුපුරුවා හැර ඇත. ඊනියා වංචාකාර සාස්තරකාරයින් විසින් සමාජයේ අත්පත් කරගත් ව්‍යාජ කීර්තිනාමය බිඳහෙළා තිබේ. මොවුන් ඉහළට ඔසවා තබමින් ප්‍රේක්ෂකයින් මුලා කළ මාධ්‍ය ආයතනවල වගකීම වන්නේ වක්‍ර ලෙස පාරිභෝගික මුදල් සූරාකෑමේ බොළඳ වැඩසටහන් පසෙක ලා සමාජයට යහපත් ප්‍රතිඵල ගෙන දෙන ව්‍යාපාරයක නියැළීමයි. මිනිස් ජීවිතයේ විවිධ සිදුවීම් ගැන නිශ්චිත අනාවැකි පවසන්නට නොහැකි බවත් එබඳු දේ ගැන කටමැත දොඩවන අයවළුන් හට සිය ඉරණම ගැනවත් කල්තබා හරිහැටි දැනගැනීමට නොහැකි බවත් අප දන්නා සත්‍යයයි.
මාධ්‍ය මුදලට වෙන් කරගත් නැකැත්කාරයින් ගෙදර ස්වාමියා රැකියාවට ගිය පසු රූපවාහිනිය තුළින් මැද සාලයට බස්සවයි. ඉන්පසුව ඔවුහු හිතේ හැටියට බිරින්දෑවරු රවටමින් ඔවුන්ගේ ගැටලුවලට එකම ගැලවුම්කරුවා තමන් යැයි හැඟී යන පරිදි හොඳින් ගෙදර කට්ටිය (ගොනාට) අන්දති. එනිසා කලින් සූදානම් කරගත්  ප්‍රේක්ෂකයින් හට නොවරදින අනාවැකි කියමින් සිය ප්‍රතිරූපය ගොඩනගා ගන්නා සාස්තරකාරයින්ගේ දින වෙන්කර ගැනීමටත් දීර්ඝ ‍පෝළිම් තිබේ.
සතියේ දින පහේම රූපවාහිනී වැඩසටහන් ඔස්සේ පෙනී සිටින නොයෙකුත් මාදිලියේ සාස්තරකාරයින් රූපවාහිනිය හරහා ආලින්දයේ සැලකුම් ලබති. ඔවුන්ගේ බොරු පුරසාරම් හපන්කම් අතේ පැළවෙන කෙප්ප සමග අට එකට සිඳුවා හොඳින් කලතා පෙරා සීරුවෙන් ‍පොවති. ගෘහණියන්ගේ හැඟීම් සහ ආවේග සූරා කති. මාධ්‍ය හරහා බුද්ධි දූෂණයට ලක්වෙති. හඳහන් බලන්නන්, අනාවැකිකරුවන්, අංග ලක්ෂණ,   හස්ත රේඛා බලා සාස්තර කියන්නන්, සිහින පලාපලකරුවන්, අංක ගළපන්නන්, ෆෙන්ෂුයිකාරයින්, වාලම්පූරි වෙළෙඳුන් ආදී මිත්‍යා හමුදාවක්ම දිනපතා උදේ වරුවේ නිවසේ සිටින ගෘහණියගේ මනස ආක්‍රමණය කරයි. හවසට ගෙදර එන ස්වාමියා මේ සියලු මිථ්‍යා අදහස්වලින් සන්නද්ධ වූ බිරිඳ සමග “ආකල්පමය සංග්‍රාමයක” නියැළේ. එහෙත් උදෑසන වැඩසටහන් නරඹන බොහෝ බිරින්දෑවරුන් මෙකී මිථ්‍යාචාරයේ ග්‍රහණයට නතුවී හමාරය.
ඒ මදිවාට මේ මාධ්‍ය මිථ්‍යාචාරකයින් හට නොයෙකුත් උපාධි පට්ටම්, නම්බුනාම, සම්මාන අභිධාන ආදිය ද තිබේ. ආචාර්ය, මහාචාර්ය, විශේෂඥ, ‍ජ්‍යෝතීර්විද්‍යා විශාරද, ශාස්ත්‍රවේදී, පණ්ඩිත, ගුප්ත වෛද්‍යාචාර්ය, පාරපම්පරික නොවරදින ගුරුකම් කටයුතු සඳහා ජාත්‍යන්තර කීර්තියට පත් ගුප්ත විද්‍යා විශේෂඥ, ගුරුකම් ලොව සක්විති, මහාමන්ත්‍රාචාර්ය, වෙද ගුරුතුමා, මෑණියෝ, හුලවාලී මහා ගුරු ආදී තනතුරු ද ඇත. රූපවාහිනී මාධ්‍යකරුවන් ද කිසිම හිරිකිතයකින් තොරව මේවා හරබර ලෙස උසුරුවති. සමහරුන් විදේශ ආයතනවලින් විවිධ ගරු සම්මාන ලබා ඇත.
එබඳු  ආයතන මේ මිහිපිට ඇත්තේ ද යන්න ඉතා පහසුවෙන් අන්තර්ජාලය හරහා සොයා ගත හැකිව තිබියදීත්ම මාධ්‍ය සදාචාරය කෙලෙසමින් වැඩිදෙනෙකු සිය වාසිය සඳහා ප්‍රේක්ෂකයින් රවටති. එබඳු මාධ්‍යකරුවන්ගේ බුද්ධිය සහ හෘද සාක්ෂිය මෙරට ජනතාවගේ සුබසිද්ධිය වෙනුවට එය සුළු මුදලකට පරදුවට තබා ඇති බව අපි දනිමු. ඔවුන් උත්කර්ෂයට නැංවීම සඳහා නොයෙකුත් විශේෂණ  පද සහිත වර්ණනාවන්ද යොදති.
රට රවටන බොරුකාරයින් හට ලක්ෂ ගණන් ගෙවා වාලම්පූරී මිලදී ගන්නා අපේ මිනිස්සු මේ මිථ්‍යා ගොහොරුවෙන් ගොඩ ගන්නට වෙර දරන මාධ්‍යකරුවන් ඉතා විරලය. ඕනෑම බොරුකාරයෙකුට දැන්වීමක් මගින් මිනිසුන් මුළා කිරීමේ හැකියාව අප රට තුළ තිබේ. එහෙත් එසේ රැවටුණු විට ඊට වගඋත්තර බඳින්නට මාධ්‍යය එහි කොටස්කරුවෙකු නොවීමද කනගාටුදායකය. විශ්වාසය තහවුරු කිරීම සඳහා “සාර්ථක ප්‍රතිඵල ලබා ගත් අය පළ කරන දැන්වීම්” යැයි සඳහන් කරයි. “පුටුවේ ඇලවීම, කනප්පුව කුල්ල, ‍පොල් කැරකැවීම කළේ මෙතරම් අවුරුදු ගණනක් තුළදී ආදී ගොන් පාට් කතා මෝඩ පුරසාරම් ද දොඩවති. සමහර විට මිල අඩු කර විකුණයි. වංචනිකයන් අනුග්‍රහයෙන් දැන්වීම් පළ කිරීම. අසල නගරයෙන් විමසන්න එපා, තැරැව්කරුවන්ට හසු වන්න එපා, අන් අයට අභියෝග කිරීම, අන් අය බොරුකාරයින් බව පැවැසීම,, රහසිගතබව රැකීම ආදී වදන් භාවිත කරයි. ඒ අතර සහන ගාස්තු ක්‍රමද ලබා දේ. “හරිගියාම ගෙවීමේ ක්‍රමයේ සංශෝධනයක්.. කොටස් වශයෙන් ගෙවීමේ ක්‍රමය... හැකි පමණ පරිත්‍යාග කිරීම” චාටු කතා කියමින් ජනතාව රවටයි. මුදල් ගෙවා පුවත්පත් දැන්වීමක් පළකරන අයෙකුට නොමි‍ලේ සේවා සැපයීමට තරම් මහා කරුණාවක් පහළ වන්නෙ ඇයිදැයි විමතියකි. මෙබඳු වංචනිකයින් විවිධ අපචාර ක්‍රියාවලට චෝදනා ලැබ බන්ධනාගාරගතවන පුවත් බහුල නිසා ඔවුන්ගේ කරුණාව කෙබඳු දැයි සමාජයේ බුද්ධිමත් පරපුර හොඳින්ම දනිති.
සති අන්ත පුවත්පත්වල සුලබව දක්නට ලැබෙන දැන්වීම්වලින් වැඩි හරියක් මන්තර ගුරුකම් වෙදහෙදකම් ආදියට අයත්ය. එයිනුදු සැලකිය යුතු ප්‍රමාණයක් වශී ගුරුකම්වලට වෙන් කළ හැකිය. කොඩිවින, හදි හූනියම්, පළිගැනීම්, වස්කවි ආදී “කාල අභිචාර” මිනිස් සමාජය තුළ ඇත. අතීතයේ සිටම පවතී. ඒවාට යම් මානව විද්‍යාත්මක පදනමක් ද තිබේ. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන පළ කරන දැන්වීම් දෙස බලන විට ඒවායේ බහුලව යෙදී වචනවලින් ගම්‍ය වන්නේ සමාජ අවශ්‍යතාවන්ය. නඩු හබ, දරුඵල, සුරාව, මත්කුඩු නැවැත්වීම, නොවිකිණෙන ඉඩම් විකුණා දීම, සතුරන් මෙල්ල කර ගැනීම, දේපළ ආරක්ෂා, ස්ත්‍රී පුරුෂ වශී, ව්‍යාපාර දියුණුවීම, හැරගිය අය ගෙන්වීම, නිවාස ප්‍රශ්න, රැකියා ප්‍රශ්න විභාග ජය ලැබිමට, තුන්දොස් බන්ධන, හදිහූනියම්. විදේශගත වුවන්ගේ ප්‍රශ්න. අනියම් සම්බන්ධකම් කැඩීම, පමා වූ විවාහ, නොදෙන ණය ලබා ගැනීම, ධනලාභ ඒවා අතුරින් සමහරකි. මේ සඳහා ඉදිරිපත් වන ගුරුකම්කරුවන් සිය ආත්මවර්ණනාව ද දැන්වීමේ පළකරයි. “වසර ගණනාවක් ඉන්දියාවේ හා ලක්දිව වනවාසීව තපස් දිවියක් ගත කරමින් ලද ගුප්ත හාස්කම් බලයෙන් දෙස් විදෙස්වල අපරිමිත ජනතාවක් සුවය ලැබිය. එදා මුළු ලොවම මවිත කරමින් යක්ෂයින් යක්ෂණියන් බැඳගෙන වැඩගත් ගුරුකම් බලයෙන් ඔබේ දුක් කරදර දුරුකර  සතුට සම්පත සහනය ළඟා කර දෙන්නෙමු.” සොයා බැලූ විට පෙනේනේ මෙබඳු බොරුකාරයින් රටේ නොයෙකුත් ප්‍රදේශවල තාවකාලිකව ලැගුම්ගෙන ජනතාව රවටමින් සිට පසුව ඒ ප්‍රදේශවලින් පහර දී එළවා දැමූ හෝ පැන ආ අය වෙති.
දියුණු සමාජයේ නඩු හබ දිනන්නට,  රැකී රක්ෂා ලබන්නට, උසස්වීම් ලබන්නට, විභාග සමත්වන්නට කරේ යන්තර පළඳින සමාජය තවමත් දියුණු ලෝකයේ බුද්ධිමය සීමාවන් තුළ පසුගාමී පිරිසක් බව නිසැකය. එහෙත් මැතිවරණවලින් ජය ලබන්නට නැකත්කාරයින්ගේ පිහිට පතන දේශපාලනඥයින් සිටින රටක ඔවුන්ගේ අනුගාමිකයින් ද එසේ වීම අරුමයක් නොවේ.
මා විශේෂයෙන්ම මෙහිලා සාකච්ඡා කරන්නේ ස්ත්‍රී පුරුෂ වශී ගුරුකම් සහ එමගින් ගම්‍ය වන සමාජ විද්‍යාත්මක විසම්මුතිය ගැනය. මෙය අද සමාජය අත්විඳින ලිංගික ඉච්ඡාභංගත්වයේ අභිචාරමය පැතිකඩක් ලෙස සැලකිය හැකි වුවත් එයට පාදක වන්නා වූ සමාජ සංස්කෘතිකමය සාධක ඉතා සංකීර්ණය ඒවා කතෛක් දුරට වාණිජකරණය වී ඇත්දැයි මාධ්‍ය තුළ ඒ වෙනුවෙන් පාරිභෝගිකයින් නොමග යවන මිථ්‍යාකාරක ප්‍රචාරයෙන් පෙනේ. මෙහි අඩංගු වදන් ඉතා සියුම් ලෙස සමාජයේ පීඩිත කාන්තාව ග්‍රහණයට ගනී. “බලගතු” එසේ නැති නම් “අති ප්‍රබල” හෝ “නොවරදින” වැනි විශේෂණ යොදා ගත් වශී ගුරුකම් වරු 3 සිට ප්‍රතිඵල දෙන බවට පවසයි. එසේම නොමි‍ලේ/ පිං පිණිසයි/ නිකරුණේ මුදල් නාස්ති නොකරන්න/ හරිගිය පසු ගාස්තු ගෙවන්න වැනි වදන් යොදා අසරණ දුප්පත් ජනතාවගේ මුදල් පසුම්බියට සීරුවෙන් විදියි.
තමන්ගේ විශිෂ්ටත්වය පිළිබඳව පාරිභෝගිකයා තුළ විශ්වාසය තහවුරු කරන්නට තමන් මේ ක්ෂේත්‍රයේ සිටින එකම සහ හොඳම සේවාදායකයා බව පෙන්වීම සඳහා විවිධ ආත්ම වර්ණනා කරගනිති. මේ පුද්ගලයින් සමාජය අන් අයගෙන් බේරා ගැනීමට ඉදිරිපත් වෙයි. විස්මය නම් මෙබඳු වංචනිකයින් හට පහසුවෙන් රැවටෙන අය සමාජයේ සිටීමයි.
ඊළඟට තමන්ගේ දක්ෂතා විවිධ පරපුරුවලින් පැවත එන බව සපථ කරයි. “කොණ්ඩදෙණිය ගුරුකම්, කුවේණි පරපුර, සත්‍ය අත්දුටු ප්‍රබල කල්ලු මලයාලි, මාතර, අරාබි ගුරුකම්, රොඩී දැහැනින් වශී ගුරුකම්, නීචකුල ස්ත්‍රී පුරුෂ වශී, පරම්පරා හතකින් පැවත එන මහ රොඩියා විසින්ම කැප කර ඇති අති ප්‍රබල නීච කුල වශී” ආදී විශේෂ පද ඒ  සඳහා යොදා ගනී. හුලවාලී හෙවත් රොඩී පරපුරේ ගුරුකම් වශී කිරීමේ ලා ප්‍රතිඵලදායී බව ඇති විශ්වාසය ආනන්ද හාමුදුරුවන්ගේ කතා ප්‍රවෘත්තියක් පදනම් කොට නැගුණකි. එනිසා වර්තමාන සමාජයේ හුලවාලී වශී ගුරුකම් එක්තරා වෙළෙඳ නාමයක් බවට පත්ව තිබේ. ඒ සඳහා ප්‍රකට ප්‍රදේශයක්ද වන අතර එහි එක්තරා මිථ්‍යා කොලනියක් දක්නට ලැබේ. මේ ගැන හෙළි කිරීමක් ලක්බිම කලකට ඉහතදී පළකළ බව මතකය. වශී ගුරුකම් කිරිමට සමහරුන් හට අවශ්‍ය වන්නේ දෙදෙනාගේ නම් පමණි. සමහරුන්ට සිරුරේ රෝම, හිසකෙස්, ඇඳුම්වල නූල් ආදිය ඉල්ලා සිටී.
වශී ගුරුකම්වල පිහිට පතන අය වර්ග දෙකක් මේ සමාජයේ සිටිති. පළමු වැන්න තමන් කැමති එහෙත් තමන්ට අකමැති තරුණයා හෝ තරුණිය ලබා තමන් සතු කර ගැනීමේ අභිලාෂය ඇති අයවලුන්ය. අනෙක් අය වන්නේ තමන් සමග සබඳතාවෙන් පසුව හැරගිය පෙම්වතා/පෙම්වතිය/සැමියා/ බිරිඳ ඔබෙ ළඟටම ගෙන්වා ගැනීමට අවශ්‍යද? දෙමාපිය කැමැත්ත අවශ්‍යද? ඔබ පතන කෙනා පිට රටක සිටියත් සඳහටම වශී කර ගැනීමට අති ප්‍රබල වශී ගුරුකම්”මෙහි සඳහන් පරිදි දෙමාපියන්ගේ කැමැත්ත ද වශී ගුරුකමකින් ලබා ගත හැකිය. එසේ නම් දෙමාපියන් හට සිය දරුවන් හට සිය අභිමතය අනුව විවාහයක් කර දීමට වශී ගුරුකම් යොදා ගත හැකිය. මේ සියලු දෙයින්ම හැඟෙන්නේ වශී ගුරුකම යනු පුද්ගලයාගේ ස්වාභිලාෂය හෙවත් නිදහස් කැමැත්ත  වෙනත් පාර්ශ්වයක අභිමතය පරිදි වෙනස් කිරීම සඳහා යොදා ගන්නා අභිචාරාත්මක බලපෑමකි. යම් හෙයකින් මෙය සත්‍ය වශයෙන්ම සිදුවිය හැකි යථාර්ථයක් නම් එය ඉතා බරපතළ ගණයේ පුද්ගල හිමිකම් උල්ලංඝනය වන අතර සාවද්‍යමය බලහත්කාරයකි. එය එසේ නොවූවත් එය සිදුවන බවට විශ්වාසයෙන් යුක්තව ඒ සඳහා තැත් කිරීම වරදක් නොවන්නේද? මොවුන් ගතහොත් එය අපචාරයක්, අපයෝජනයක්, බලහත්කාරකමක් හෝ දූෂණයක් නොවන්නේද? එවිට මේ ගුරුකම්කාරයින් සියලුදෙනා සමාජ විරෝධී අපචාරයන්ට අනුබල දෙන අපරාධකරුවන් ලෙස හඳුන්වා නීතිය ක්‍රියාත්මක කිරීම කළ යුතු නොවේද? යම් හෙයකින් එම චෝදනාවෙන් බේරී යාමට වශී ගුරුකම් සත්‍ය නොවන බව කියන්නේ නම් සමාජය බොරුවෙන් මුලා කිරීමට වරදකරුවන් විය යුතුය.

lakbima

No comments:

Post a Comment

 
Blogger Templates